අනුත්තර, අශාන්, යොමාල් ඇතුලු හැමෝගේම බලාපොරොත්තුව සාමාන්‍ය පෙළ ඉතා හොඳින්ම සමත් වූ ලෙසින්ම උසස් පෙළද සමත්වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි. අනුත්තරට හිටියේ අම්මා විතරයි. පාසලේ හැමෝම වාගේ ඔහුගේ යාලුවො. උසස් පෙළට නියමිත විෂයන් හැදෑරීමට පමණක් සීමා නොවී බාහිර ක්‍රියාකාරකම් සඳහාද අනුත්තර මෙන්ම ඔහුගේ යාලුවන් යොමුවී සිටියා. අනුත්තර පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්. මාධ්‍ය ඒකකයේ සභාපති. ඊට අමතරව පාසලේ ක්‍රිකට් කණ්ඩායමද ඔහු නියෝජනය කරා.
උසස් පෙළ සඳහා පාසලට අලුතින් ඇතුලු වුනු කණ්ඩායමේ අහිංසාත් හිටියා. අලුතින් පාසලට ඇතුලු වුනු පිරිමි ළමයි කෙසේ වෙතත් ගැහැණු ළමයි ගැනනම් විශේෂ උනන්දුවක් ඇතිවී තිබුණා. අහිංසාට ඒ අවධානය නොඅඩුව ලැබුණා. අනුත්තරට මෙන් සුන්දර වටපිටාවක් අහිංසාට කවදාවත් තිබුනේ නෑ. විභාග ප්‍රශ්න පත්‍රයෙන් එහාට ගිය ප්රශ්නාවලියක ඇය ගිලී සිටියා. ඒවා වරින් වර ඇගේ පාසල් ගමනද අඩාල කලා. නිතර පාසලට නොපැමිනීමත් අහිංසා ගැන අනුත්තරගේ අවධානය යොමු වෙන්න එක හේතුවක් වෙන්න ඇති.
අනිත් හැමෝම වගේ අනුත්තරලත් පාඩම් කලා. අමතර පංතිවලටද සහභාගී වුණා. විනෝද චාරිකා ගියා. සොඳුරු යෞවනයේ අවසන් කඩ ඉම ගෙවමින් අවුරුදු 18 සම්පූර්න වෙමින් නීත්‍යානුකූල වැඩිහිටියන් බවට පත් වුණා. විශ්වවිද්‍යාලය පේන මානයට ආවත් යෞවන ප්‍රේමය හා අඩදබර ඔවුන්ටත් පොදු මාතෘකා වුණා. මේ හැමදේමත් එක්කම ඔවුන් විභාගයට සූදානම් වුනා. අනුත්තරලා අහිංසාලාගේ විතරක් නොව අපි හැමෝගේම උසස් පෙළ කතාව මෙහෙම වෙන්නැති. ආපහු ගිහින් එන්න හිතෙන තරමට ඒක සුන්දරයි.